Wednesday, August 25, 2010

වීස...






ඇත්තටම මේ අරාබි රටවල් වලට ආවම මෙහෙ තියන නීති රීති ගැන වෙලාවකට කල කිරෙනව.තියන වෘර්තීය සුදුසුකම්වලට හරියන්නෙ නැති, ඒ කියන්නෙ කරන රස්සාවට ගොඩාක්ම වෙනස් රස්සවකට දෙන වීස එකක් ගත්තාම විදින්ඩවෙන කරදර නිමක් නෑ.මටත් ඒගැන සුලු සුලු අද්දැකීම් තියනව.ඩුබායි එන්ඩ කලින් මම හිටිය කටාර් වල.මට තිබ්බෙ "විදුලි කාරිමික" වීසා බලපත්‍රයක්.ඒකෙන් පුලුවන් කොයිම වෙලාවක හරි පොලිසියෙන් ඇල්ලුවොත් හැදුනුම් පත පෙන්නල පොලිස් කූඩුවෙ ලගින්නෙ නැතුව බේරෙන්ඩ විතරයි මම දන්න විදියටනම්. අනික් කාරනය තමයි වීස අයදුම් කරන්ඩ වෛද්‍ය පරීක්ශනයට ගියාම මට සහ තව මාත් එක්ක පරීක්ශනයට ගිය කීපදෙනෙකුටම සැලකුවෙ හරියට මරන්ඩ ගෙනියන හරක් දක්කන විදියටමයි.අපි කරන ජොබ් එකම කරන පිලිපීන් ජාතිකයටනම් එහෙම කරදර උනේ නෑ.මිනිහ අපිත් එක්කම ගිහිල්ල වෙන දොරකින් ඇතුලුවෙලා ඉක්මනටම වැඩෙත් කරගෙන ඉක්මනටම ආපහු ගියා.අපි ඉතින් පැයගානක් පෝලිමේ ඉදල හවස්වෙලා ගෙදර ආව.පිලිපීන් එකාගෙ වීස ඒක ප්‍රොෆෙශනල් ලු.ඒ කාලෙ අපේ නොදැනුවත් කම නිසා ඔහොම කට්ට කාගෙන හිටිය.දැන් උනත් මට තියෙන්න වීස එකේ ගහල තියෙන්නෙ "ෆලෝ අප් ක්ලාක්" කියල.

මට මේගැන මතක් උනේ මේදවස්වල මගෙ යාලුවෙකුට වෙලා තියන වැඩක් නිසා.පලවෙනි වතාවට තමයි මිනිහ අරාබි පොලවෙ පයගහල තියෙන්නෙ.පව්ලේ උදවියට වීස ගහන්ඩ තරම් පුලුවන් මට්ටමේ පඩියක් ගන්නෙත් නෑ.ලඟදි මිනිහ නිවාඩු ගියා.කසාදයක් එහෙම කරගෙන ඇවිල්ල මිනිහා වයිෆ්ව ගන්ඩ වීසා ගන්ඩ ගියාමයි දන්නෙ වීස ගන්ඩ බෑ කියල.විස්තරේ කියපුවම ආයතනෙ ලොක්කට,ලොක්ක දුන්න විසඳුම තමයි දෙන්නට ඉන්ඩ කාමරේකුයි වයිෆ්ට වෙනම් වීස එකකුයි දෙන්නම් කියපු එක.ඉතින් මිනිහ කැමතිවෙලා ඔන්න කොහොමහරි වයිෆ්ව ගෙනාව.ඕක ගැන අපි ටිකක් දැනමුතුකම් තියන අපේ වැඩිහිටියෙකුගෙන් අහපුවාම එයා කිව්ව ඒක ටිකක් භයානක වැඩක් මේ අරාබි රටවල්වල, ඒක නිසා සැමියා සහ බිරිඳ කියල ඔප්පු කරන්ඩ පුලුවන් ලියකියව්ලි ටික ලඟ තියාගන්ඩ කියල.ඔන්න ඒපාර ගෙදරට කතාකරල විවාහ සහතිකේ පරිවර්තන කොපියක් එහෙම සහතික කරල ලඟ තියාගෙන ඉන්නව.දැන් තියන ප්‍රශ්නෙ දරුවෙක් එහෙම බඩට ආවනම් මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ.එතකොට මොකද කරන්නෙ කියලනම් තාම කාගෙන්වත් හරිහමන් උපදෙසක් ලැබුනෙ නෑ.අපිනම් උපදෙස් දුන්නෙ ටිකක් ඉවසල ඉදපන් කියල.එහෙම කියන්ඩ කාටවත් අයිතියක් තියනවද..?

ඔහොම ලියාගෙන ලියාගෙන යනකොට මට මතක්වුනා කාලෙකට ඉස්සර මගේ ඉන්දියන් යාලුවෙක් එවපු මේල් එකක තිබ්බ පොඩි කතාවක්.මෙහෙමයි ඒ කතාව.

ඔන්න ඉන්දියාවෙ කොහෙද තැනක තියන සත්තුවතක ඉන්නවලු කේසර සිංහයෙක්.ඉතින් මූට හය හතර තේරෙන කාලෙදිලු මේ සත්තුවත්තට ආවෙ.එදා ඉදල අඩි අටයි දහයෙ කූඩුවකට වෙලා මූ ජීවිත කාලෙම ගෙවල තරුන වයස ආවම මූට යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තලු.ඔන්න ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් ගැන එහෙම දැන් දැනුම් තේරුම් යන කාලෙදි මූට හිතෙනව

"පොඩිකාලෙ ඉදලම මට දැන් මේකෙ ඉදල එපාවෙලා, අඩුතරමෙ වෙන තැනකටවත් මාරුවෙන්ඩ තිබ්බනම්,
අනික හැමදාම එකම මස්ජාතියම කාල එපාවෙලා, පෙලවහක්වත් කරල දෙන පාටකුත් නෑ"

ඔහොම ලතැවි ලතැවි ඉන්නකොට දවසක් ඔන්න වාසනාව සිංහයව හොයාගෙන එනව. කොහොමද...?

දවසක් දා ඩුබායි රාජ්ජ්‍යයේ ශේක් වරයෙක් යනව මේ සත්තු වත්ත බලන්ඩ.ඔහොම යනකොට දකිනව මේ තරුන සිංහයව.ශේක්ට හිත යනව මේ සිංහයට.ඉතින් මෙයා සත්තුවත්ත අයිතිකාරය හම්බවෙලා කියනව

"ඔයාට අර සිංහය කීයක් වටිනවද ,මට කීය උනත් ඌව ඕන"කියල.

සත්තුවත්ත අයිතිකරයත් හොද ගානකට සිංහයව ශේක්ට දෙන්ඩ කැමතිවෙනව.
සිංහයගෙ සියලු බලාපොරොත්තු උතුරා දෝර ගලන්ඩ පටන්ගන්නව.ඉතින් සිංහයට මෙහෙම හිතෙනව.

"මගෙ නරක කාලෙ ඉවරයි,දැන් ඉතින් තුන්වේල හොඳට කාල , හොද සැප ඒ.සී කාමරේකට වෙලා ඉන්ඩ පුලුවන්
,පෙලවහක් උනත් කරල දෙන්ඩ බැරිකමක් නෑ"

ඉතින් සිංහය බොහෝම සන්තෝසෙන් පිටත් උනාලු ඩුබායි යන්ඩ.ඔන්න ඉතින් පැය තුන හතරක් ෆ්ලයිට් එකේ ගිහිල්ල සිංහය ඩුබායි වලට ආව.දැන් සිංහයට හොදටම මහන්සියි.බඩත්ගිනියි.

"කමක් නෑ අඩ රෑට හොදට කන්ඩ හම්බවෙයිනෙ"

කියල හිත හදාගෙන ඉන්නව.සිංහය අලුත් සත්තුවත්තෙ කූඩුව ගාවට අරගෙන ගියා.ලස්සනට පිලිවෙල්කට කූඩුව තියනව.ලයිට් හතක් අටක් දාල ලස්සනේ බැරුවා.දැන් හිතුව ඩෙවල් සෙරම තියනව.තව එක ප්‍රශ්නයයි තියෙන්නෙ.කෑම.පැය දෙකතුනකට පස්සෙ සිංහයට බඩගිනි උහුලන්ඩම බැරිවෙනකොට ඔන්න ඈතින් එනව පේනව කෑම බෙදන කොලුව.සිංහයට ඉවසිල්ලක් නෑ මොනවද කන්ඩ තියෙන්නෙ කියල බලන්ඩ.ඔන්න කෑම බෙදන කොලුව කූඩුවගාවට ඇවිල්ල කෙසෙල් ගෙඩි දෙකකුයි ඇපල් ගෙඩි දෙකකුයි කූඩුවට දාල යන්ඩ ගියා.සිංහයට හිතාගන්ඩ බැරිලු ඒ මොකද කියල.අන්තිමට හිතහදාගත්තලු මොකක්හරි වැරදීමක් වෙන්ඩ ඇති කියල.කමක් නෑ හෙට උදේ කෑම එක හරියට ලැබේවිනෙ කියල බඩගින්නෙම නිදාගත්ත.ඔන්න උදේම කෑම දාන කොලුව කූඩුවලට කෑම දාගෙන එනව.සිංහයත් බලන් ඉන්නව මොනවද දාන්නෙ කියල.උදෙත් කෙසෙල් ගෙඩි දෙකයි ඇපල් ගෙඩි දෙකයි දාල කොල්ල ගියා.සිංහයට දැන් හොදටම කේන්තියි.

"හරි බලමුකො දවල්ටත් මොනවද දේන්නෙ කියල, කෙසෙල් ගෙඩි දුන්නොත් අල්ලගන්නව ඕකගෙ බෙල්ලේන්"

කියල හිතගත්ත සිංහය දවල් වෙනකනුත් බඩගින්නෙ.දවල්ට කෑම දාන්ඩත් කොලුව එනව.සිංහයත් සීරුවෙන් ඉන්නව මොනවද දාන්නෙ කියල බලාගෙන.දැම්ම කෙසෙල්ගෙඩි දෙකයි ඇපල්ගෙඩි දෙකයි.ඕක බලන් හිටපු සිංහයගෙ ඉවසීමේ සීමාව පැන්න.පැනපුගමන් අල්ලගත්ත කෑම දාන කොල්ලගෙ බෙල්ලෙන්ම.කොලුව හොදටම බයවෙලා.බෙල්ලෙන් අල්ලගත්ත කොල්ලගෙන් සිංහය මෙහ්හෙම අහනව.

"ඈ බොල බූරුවො, ‍තෝ දන්නෙ නැද්ද මම සිංහයෙක් කියල, සිංහයො මස් මාලු නොකා පලතුරු කන්නෙ මොන රටේද බොල..?"

එතකොට කොලුව කියනව මෙහෙම.

"මමත් දන්නව ඔබවහන්සේ සිංහයෙක් කියල, ඔබවහන්සේට පලතුරු කන්ඩ බැරිබවත් මම දන්නව, එත් මම මොනව කරන්ඩද රාලහමි,මුන් ඔබතුමාට ගහල තියෙන්නෙ 'ව්ඳුරු වීස' එකක්නෙ ,මටත් තියෙන්නෙ 'බූරු වීස' එකක්"
කියල කිවාලු.


Monday, August 2, 2010

මස්, මාළු, කිරි, බිත්තර...














අද ලන්ච් බ්‍රෙක් එකේදි ඔන්න කට්ටියම සෙට්වෙලා කෑම බීම හෙම බෙදාගෙන කන්න පටන්ගත්ත. මගේගාව තිබුන මස් වගයක් උයල.සතා තමයි "හරක".

මගෙ යාලුවෙක් දවසක් කිව්ව මතකයි මෙහෙම කතාවක්,

"මෙහෙ මචන් හරක් හදන්නෙ මසට, ඒක නිසා කෑවට පව් නෑ බං,
ලංකාවෙනම් පුලුවන් තරම් වැඩ අර්ගෙන අන්තිමට මරනව, ඒකන්ම් පව් වැඩේ"


ඒ කතාව කොච්චර දුරට සාධාරනද කියල මම තර්ක කරන්ඩ ගියෙ නෑ, මොකද තර්ක කර කර හිටියනම් කන්ඩ වෙන්නෙ නෑනෙ.හබැයි මෙහෙ (U.A.E) හරක්නම් ඉපදෙන්ඩත් කලින්ම මස් රාත්තලට ගාන තීරනය කරල ඉවරයි. හරි කමක් නෑ ඒක එයාගෙ ප්‍රතිපත්තිය.මගේනම් එහේම ප්‍රතිපත්තියක් නෑ.මස්, මාළු, කිරි, බිත්තර, චීස්, බටර් ඕන දෙයක් කනව. වැඩිය හිතන්නෙ නෑ.අර කලින් කියපු යාලුවත් එහෙමයි.හැබැයි තව යාලුවෙක් ඉන්නව මස්, මාළු, කරවල, බිත්තර කන්නෙනෑ කිරි බොනව චීස්, බටර් කනව.

ඌ "වෙජිටේරියන්ලු".

එතකොට "කිරි, චීස්, බටර් හදන්නෙ එලවලු තම්බලද..?" කියල මම ඇහැව්ව.

ඌ කියනව ඒව හදන්ඩ සත්තු මරන්නෙ නැතිලු.එතකොට සතාගෙ පැටියට බොන්ඩ තියන කිරිටික උදුරල චීස් හදපුවම අව්ලක් නෑ මම හිතන්නෙ.හරි ඒකත් එයගෙ ප්‍රතිපත්තිය.
තව යාලුවෙක් ඉන්නව සේරම දේවල් කනව හැබැයි "හරක්මස්" කන්නෙ නෑ.
විහිලුත් කරනව ඉතින් සමහර වෙලාවකට, ඉතින් "හරක්" මස් කන්නෙ නෑ නේන්නම් කියල.
මිනිහගෙ තියෙන්නෙ වෙනම ප්‍රතිපත්තියක්.මිනිහ හරක් මස් කාලම නැතිලු ජීවිතේටම.
ඒකනිසා කන්ඩ අප්පිරියයිලු.ම්ම්ම්ම්......මර වැඩක්නෙ?....මිනිහ "ඌරුමස්"කනව.පොඩිකාලෙ ඉදලම ඌරුමස් කනවලු.ඒකටනම් මොනවත් වැ‍රැද්දක් කියන්ඩ බෑ.පුරුදු නැති මස් කන්ඩ මම උනත් දෙපාරක් හිතනවනෙ.අනික ඔය කොරියාව, පිලිපීනය, කාම්බෝජය, මැලේසියාව, චීනය, ජපානය වගේ රටවල සර්පයින්ව, බල්ලන්ව, පූසන්ව, ගොලුබෙල්ලන්වකනව කිව්වම මටත් අප්පිරියයි තමයි.ඒවගේ රටකට ගිහින් කිව්වොත් මම මේව මේව කන්නෙ නෑ කුකුලයි, හරකයි, ඌරයි විතරයි කන්නෙ කියල ඒ මිනිස්සුවුනත් හිතයි මොන පිස්සෙක්ද මේ ? කියල.මොකද එයාලට සර්පයින්ගෙයි, බල්ලන්ගෙයි, පූසන්ගෙයි, ගොලුබෙල්ලන්ගෙයි, හරකුන්ගෙයි,ඌරන්ගෙයි ලොකුවෙනසක් නොදකින නිසා.මොකද සේරම සත්තුනෙ.

මම මේ ලඟදි දැක්ක පත්තරේක තියනව කොහෙද මන්ද හෝටලේක දවල්ට කෑමට තිබ්බ කංකුං ඩෙවල් එකක නයි පැටව් දෙන්නෙක් ඉදල මාර ජරමරයක් වෙලා.කකා හිටපු මනුස්සයට වමනෙත් ගියාලු(එහෙම ලියල තිබ්බද කියලනම් මතක නෑ).ඒත් ඕක කොරියාව වගේ රටක උනානම් කකා හිටපු කෙනා බොරයක් අදින්නෙ නයි පැටවු දෙන්නෙක් මදි කියල මම හිතන්නෙ.


තවදෙයක් මතක්වුනා මේ කතාවත් සමගම කියන්ඩම ඕන .............


ඔන්න දවසක් යාලුවො කීපදෙනේක් එක්ක ගියා පොඩි අඩියක් එහෙම ගහල නාල කරල පොඩි ආතල් එකක් ගන්ඩ්.මේක සෙට් කලේ "මාළු බැමේ උන" බොහෝම තදේට වැලදිච්ච අපෙ මිත්‍රයෙක්.ඉතින් මමත් සෙට්වුනා වැඩේට, මාළු බාන්ඩනම් නෙවෙයි.මට ඕනවුනේ ගං ඉවුරකටවෙලා පොඩි අඩියක් ගහල වල්පල් ටිකක් කතාකරල ගඟේ නාල ෆන් එකක් ගන්න.
ඔතනට සෙට්වෙලා හිටිය අර මාළු මිත්‍රගෙ තව මාළු සගයෙක්.මිනිහ තමයි මාළු බෑමේ ප්‍රොෆෙෂනල් මෑන්.

ඔන්න මුලින් අපි ගෙනිච්ච ලට්ට පට්ට එක්ක කට්ටියම ඉවුරෙ වාඩිවෙලා පොඩි පොඩි අඩි තිය තිය බෝතලේ හිස් කරනව.ටිකකින් මාළු යාලුවො දෙන්න බැස්ස වැඩෙට.කොහෙන්ද හොයන් ආපු දැලකුත් උස්සං දෙන්න බැස්ස ගඟට. මෙන්න පැයකින් විතර එනව මාළු කිලෝ 4-5 ක් අරගෙන.

"යකෝ කාට කන්ඩද ඔච්චර මාළු" කියල අහපි යාලුවෙක්.

"අපිට තමයි" මාළු යාලුව කියනව.

"වැඩි නැද්ද" තව එකෙක් අහනව

"ආ ...මදිවෙයිද කියල අහපන් යකෝ" මාළු යාලුව කියනව.

ඔන්න කට්ටියම පොඩි සපෝට් එකක් එහෙම දීල දැන් "මාළු බාබකිව්" දානව.බෝතල් දෙක තුනක් ඉවරවෙනකොට කට්ටියට හොද ගනන්.මාළුත් පුලුවන්තරම් කාලත් මාළුවො 10-15ක් ඉතුරුයි.කට්ටියටම මාළු කාල එපාවෙලා.මාළු පුච්චන එක නැවැත්තුව.

"දැන් යමුද?"එකෙක් අහනව.

"හා යමු...අර මාළුටික ගනින් ඔතල"එකෙක් කියනව.

"ඔන්න ඕක විසිකරල යමං බං"වෙරිමතේ අපේ මාළු යාලුව කියනව.

"එපා එපා විසිකරන්ඩ"ආයෙම එකෙක් කියනව.

"විසිකරපං බං "මාළු යාලුව,

"එපා බං....උන්ට ගඟේ ඉන්ඩත් නෑ, තොපි කෑවෙත් නෑ, දැන් ඉතින් කාටහරි දෙන්ඩහරි අරං යමං"
වෙරි මතේන් හරි මගෙ යාලුව කිව්ව කතාවගැන මම පහුවෙනිදත් කල්පන කලා.අදටත් සමහරවෙලවට කවුරුහරි තන්හාවට වගේ මස් මාළු ගොඩවල් බෙදාගෙන කාල, කාගන්ඩ බැරිව විසිකරද්දි මට අර සිද්දිය මතක්වෙනව,

ඉතින් කතාව ඉවර කරන්ඩ කලින් තව පොඩි කතාවක් තියනව කියන්ඩ.ඒකෙනුත් කියන්නෙ මොකක්ද කියල ඔයලම තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ.මෙන්න මේකයි කතාව.

ඔන්න මෑන් කෙනෙක් ඉන්නවලු, පොරගෙ හෙන....."පොර පාට්ලු."
අර "බොරු ඩීසන්" ජාතියෙ පොරක්.කොහෙ ගියත් පොර හෙන පොර පාට් ලු.
ඉතින් මිනිහ දවසක් බඩගිනිවෙලා යනවලු දවල්ට කන්ඩ.හොද කඩයක් හොය හොය ඇව්දගෙන යද්දි මිනිහ දැක්කලු,

" ඔන්ලි චිකන්"

කියල ඉංග්‍රීසියෙන් ගහල තියනව.අමුතු සීන් එකක් නිසා පොරත් ඔලුව දාල බැලුවලු මොකද කියල.

බලපුවම මේකයි සීන් එක.කඩේ තියන හැම කෑමක්ම කුකුලගෙ මොකක්හරි පාට් එකකින්ලු හදල තියෙන්නෙ.ඉතින් මිනිහ හොද පොර පාට් එකක් දාල අඩගැහුවලු කඩේ කොලුවෙකුට.අඩගහල අහනවලු මෙහෙම.

"ලමය මේක මොනවයින්ද හදල තියෙන්නෙ....?"
"මේක ලිවර් වලින් සර්"
"එතකොට මේක.....?"
"විංස් වලිං සර්"
"මේක...?"
"බ්‍රෙස්ට් වලිං සර්"
බ්ලා...බ්ලා....බ්ලා......පොර ප්‍රශ්න අහනව....කොල්ල උත්තර දෙනව.
ඔහොම අහගෙන අහගෙන පිලිවෙලකට දැන් ගනන් අඩු පැත්තට එනවලු මෑන්.
ඇවිල්ල අන්තිම කෑම තියන තැනට ඇවිල්ල බලනකොට තියනවලු පොඩි පොඩි කලුපාට කෑලි වගයක්.මෑන් අහනවලු,

"මොනවද ලමය මේ....?
"ආ ඕක සර් කුකුලගෙ දිවෙන් හදන් කැමක්"
එතකොට පොර කියනවලු,
"ඈඈ......හ්......ඊයා.......මට ඒව කන්ඩ අප්පිරියයි, මට ඔම්ලට් එකක් දාල ගේන්ඩ" කියල කිව්වලු.

කඩේ ගොලයත් කට අතින් තදකරගෙන යන්ඩ ගියාලු.

කතාව ඉවරයි.....මොකද බලන් ඉන්නෙ....? කතාව ඉවරයි.
තෙරුනේ නැත්තම් මුල ඉදල කල්පනාවෙන් කියවන්ඩ.