Sunday, November 7, 2010

යන්නයි යන්නෙ නිවාඩු.....





හහ්...............


කාලාන්තරේකින් සිරිබිය බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ නෑ.මතකනම් නෑ කවදද අන්තිමට මොනවත් කුරු‍ටුගෑවෙ කියල.ලියන්ඩ කියල දේකුත් සිරියගෙ හිතට අවෙත් නෑ.බ්ලෝග් එක පැත්තෙ ගියෙවත් නෑ.හැබැයි බ්ලොග් පෝස්ට් කියවන එකනම් දිගටම කරගෙන යනව.ඒත් මේ දවස්වල සිරිය ආසාවෙන් කියවපු බ්ලොග් දෙකක්ම නිකන් උඩින් පල්ලෙන් කියවල ක්ලෝස් කරල දානව.එකක් තමයි කතන්දරකාරයගෙ බ්ලොග් අඩවිය.අනික තමයි අරුනි ශපිරෝ වෙතින්.මට නොතේරෙන මොකක්දෝ දෙයක් නිසා ඒ දෙකම කියවන එක මාර බෝරිං කියල හිතෙනව.මට නොතේරෙන ඒ හේතුව කාටහරි තේරෙනවද දන්නෙ නෑ.

ඉතින් සිරිය අද ලියන්ඩ හිතුවෙ ඇයි...?
සිරිය මාර මානසික පීඩනයකට අහුවෙලා ඉන්නෙ.මොකද සිරිය යනව ලංකාවට මාස දෙකක නිවාඩුවකට.දෙසැම්බර් මුල තමයි යන්නෙ.මේපාර වෙනදට වඩා හිතට කරදරයි.සිරියට නිවාඩු යන්ඩ තිබ්බෙනම් නොවැම්බර්.ඒක මාසයක් පස්සට දාන්ඩ සිද්දවුනා.ඒකනම් මාර ගොන් අයිඩියා එක නිසාතමයි එහෙම උනේ.මොකද සිරියට මේ නිවඩුවෙ කරන්ඩ ගොඩක් දේවල් තියනව.පලවෙනි එක තමයි සිරිය හිතගෙන ඉන්නව මේ පාර ලංකාවෙ සැහෙන තැන්වල ඇවිදින්ඩ.ඒකට "දුනිත" පුතයි අම්මයි අනිවාර්‍යෙන්ම එකතුවෙනව.ඒ විදියට මාසයක් ඇවිදල දෙසැම්බර් අන්තිමට සිරිය දැන් අවුරුද්දක් තිස්සෙ කරන්ඩ හිතගෙන ඉන්න ශල්‍යකර්මෙ කරගන්ඩ තියනව.ගෙදර යද්දි ගෙදරට අවශ්ය කරනම බඩුයි.තෑගියි ඔක්කොම බලංගියාම ලක්ශ 3-4කින් මෙහා සිරිය ගොඩයනව බොරු. සිරිය ගේ හදන්ඩ ගත්ත නයවලින් අමාරුම හරිය ඉවරවුනගමන්ම නිවාඩු සෙට් උනනිසා ඉතුරුකරපු සල්ලියක් තිබ්බෙත් නෑ අතේ.ඒ අතර සිරියට අවුරුදුගානක ඉදල තියන උනක් හොදකරගන්ඩත් තියනව.ඒකතමයි අර උඩින් තියන පිස්සු ගොං අයිඩියා එක.ඒකතමයි සිරියට ඩී.එස්.එල්.ආර් කැමරාවක අයිතිකාරයෙක් වෙන්ඩ තිබුනු ආසාව.ඒකනිසා සිරිය තීරනය කලා තව මාසයක් නිවාඩුව පස්සට දාල කැමරාවත් අරගෙනම තමයි මේපාර යන්නෙ කියල.මොකද සිරියගෙ හිත කිව්ව,

"පුතේ උඹ මේපාර ගත්තෙ නැත්තම් තව අවුරුදු තුනකටවත් ඒක ගන්ඩ හම්බවෙන්නෙ නෑ .."

කියල.ඉතින් සිරිය නිවාඩුව කල්දැම්ම.මේ පෝස්ට් එක ලියනකොට සිරිය ඩී.ඒස්.එල්.ආර් කැමරාවක අයිතිකාරයෙක්.ඒකට ඕක තව පොඩි පොඩි අඩුම කුඩුම ටිකහොය හොය සිරිය මේදවස්වල කඩවල්ගානෙ යනව. එතකොට තේරෙනව නේද කැමරාවට තිබ්බ ආසාව සිරියගෙ.

ඉතින් තෑගිභෝගත් ගොඩක්දුරට අරගෙන ඉවරයි.කාට කාටත් මොනව මොනවහරි අරන්යන්ඩත් ඕන නිසා තව ගන්ඩත් තියනව බඩු.ඒකට අතේතියන සල්ලි ඇත්වෙයිද මදිවෙයිද කියල සිරියට මාර මානසික පීඩනයක් තියෙන්නෙ.අනිකතමයි ඔ‍ෆිස් එකේ වැඩ.මොනවත් ඔලුවට වැටෙන්නෙ නෑ.මේ බලපු දේ මේ මතක නෑ.එකපාරක් කරපුදේ තවපරක් කරනව.එතකොටවත් මතක්වෙන්නෙ නෑ මම මේක එකපාරක් කරානේද කියල.එච්චරටම මොලේ අවුල්වෙලා සිරියගෙ.ඒක පීඩනයද අවපාතයද කියලවත් තේරුම් ගන්ඩ බෑ සිරියට.

ඉතින් වැඩ එපාවෙලා දැන් සතිගානකින් සිරියා හරිහමන් වැඩක් කලේ නෑ ඔ‍ෆිස් එකේ.බොරුව කරකර.බෝල පාස්කරකර ඉන්නව.මොකද සිරියට බෝලිං හොදට පුලුවන්.සිරියගෙ බෝලිං මුරලිගෙයි මාලිංගගෙයි සංකලනයක් කියල හිතගන්ඩකො.සිරියගෙ බෝල වලට ෆේස්කරන එක එච්චර අමාරුයි.ලොක්කොත් ගොඩක් වෙලාවට "කඩුල්ල මුවාකිරීමට" අහුවෙනව සිරියගෙ බෝලවලට.ඒත් ඉතින් වැඩක් කෙරෙන්නෙ නැති එක ගැනනම් හිතට අමාරුයි.

ඉතින් ඔයටික කියන්ඩ තමයි මේක ලියන්ඩ හිතුවෙ.ආයෙනම් කවදා ලියන්ඩ හම්බවෙයිද දන්නෙ නෑ...

Wednesday, September 8, 2010

පුතා වැටිල....

"පුතා වැටිල , මූන බිම වැදිල , පොඩ්ඩක් තඩිස්සිත් වෙලාවගේ ගොඩක් ඇඬුව,මට පව් කියල හිතුන , ඉතින් මම එයාට රෑට කන්න ෆ්‍රයිඩ් රයිස් හදල දුන්න"

ඒ ආදරනීය බිරිඳ ස්කයිප් හරහා පුතාගෙ මූන පෙන්නල මට කියපු වදන් පෙල.

"ඔයා වැ‍ටුනද......?"
"ඔව්......දොක් ගා…….ල වැ‍ටුන"
"සිදුනද ඔයාට...?"
"ඔව්"
"ඇඩුවද ඔයා...?"
"ම්ම්ම්......."
"ඔයා බයවුනාද....?"
"නැ"
දැන් එයා යමක් දරාගන්ඩ පුලුවන් ලොකු මිනිහෙක් වෙලාද ? නැතිනම් ගිරව වගේ අම්ම උගන්නපු එක කියනවද දන්නෙ නෑ.

දහසක් භාදක මැද පුතා දැන් ලොකු ලමයෙක් කියල මට හිතෙනව.මම පුතාගෙ තාත්ත නිසා එහෙම හිතෙනව වෙන්ඩත් පුලුවන්.කොහොමවුනත් මට එහෙම හිතෙනව.පුතාගෙ අම්මටත් එහෙම හිතෙනවද දන්නෙ නෑ.පුතා පුතාගෙ අම්මගෙ බඩට එන්ඩ කලින් ඉදලම අම්මටයි මටයි තිබුන අනේක විද කරදරනම් තාම නිමක් නෑ.ඒත් පුතා දැන් ලොකුයි.

කරුනු කාරනා එක පෙලට ගොඩගැහෙන්නෙ හරියටම ලොකූ කතාන්දරයක් වගේ.
තාත්ත තිබුන රස්සාවෙන් අයින් උනගමන්ම අම්මව බැන්ද හැටි.ඊටපස්සෙ රස්සාවක් හොයාගන්ඩ තාත්ත ගත්ත උත්සාහය.ඒ අතර පුතා අම්මගෙ බඩට ආපු හැටි.අම්මට ඇඟට අමාරුයි කියල චාන්දනී අක්ක ලඟට බේත් ගන්ඩගියාම මූත්‍රා පරීක්ශනයක් කරන්ඩ කියපු හැටි.ආපහු ගෙදර එද්දි බයිසිකලේ මහා වැස්සකට තෙමුනු හැටි.රස්සාවක් නොතිබ්බට ඒව හරිම සුන්දර මතකයන්.

ඊටත් පස්සෙ අම්මට "බ්ලීඩ්" වෙනව කියල ඒක බලන්ඩ උඩහගෙදර අයිය හම්බවෙන්ඩ කෝච්චියෙ හෝමාගම ගියහැටි.ඒ අතර අමමව දාල තාත්ත "උඩවලවේ සෆාරියක්" ගියහැටි.

අම්ම කිව්ව,
"ඔයා නැති දවස්වල මම අයියලත් එක්ක ගොඩක් තැන්වල ඇවිදපුනිසා ඔයා ගිහින් එන්ඩ ,මම අම්මත් එක්ක ඉන්නම් කියල".

ඊට පස්සෙ පිටරට රස්සාවකට යන්ඩ සේරම ලෑස්ති කරල තියෙද්දි පුතාගෙ තාත්ත හොද්ටම අසනීප උනහැටි.උදව්කරපු හැමෝටම පිං සිද්දවෙන්ඩ තාත්ත නොමැරි බේරුන හැටි.අගහිගකම් මැද ඒකාලෙ ගෙවුන හැටි.තාත්තට වැඩක් පලක් කරගන්ඩ බැරිව මාසගානක් හිටපු හැටි. ඒ කාලෙ අම්ම තඩි බඩගෙඩියකුත් උස්සං තාත්තට සාත්තු කල හැටි.හැගීම් සේරම පපුව හිරකරගෙන උගුර ගාවට ඇවිත් නවතිනව.

ඊටත් පස්සෙ තාත්තගෙ රටයන්ඩ වීසත් ගහල එයා(ර්) ටිකට් එක ගන්ඩ මගට යනකොටම අම්මගෙ "වෝට බෑග් එක" කැඩිල වතුර යනව කියල තාත්ත ආපහු හැරිල ගෙදර ආපු හැටි.එනගමන් වාහනයක් හොයන්ඩ ගියාම වාහන පාක් එකේ තිබුන එකම එක වාහනේ වයස අවුරුදු 60ක විතර අංකල් කෙනෙක් හිටපු හැටි.දොස්තර අයියගෙ උපදෙස් පිට පැය එක හමාරෙන් කොළඹට යන්නෙ කොහොමද මේ අංකල් එක්ක කියල මංජු අක්ක අහපු එක අංකල් සීයට ,එකසිය විස්සට පාගල බොරුකරපු හැටි.අන්තිමට සේරම තීරන වෙනස්කරල "කාසල්" එකට ඇතුලු කල හැටි.ක්ලිනික් නොගියත් එතන හිටපු අය ප්‍රශ්න කරන්නෙ නැතුවම අම්මව ඇතුලත් කරගත්ත හැටි.ඒ සේරම පුතා මේ ලෝකෙට කොහොමත් එන්ඩම ඕන කෙනෙක් නිසා වෙන්ඩ ඇති කියල තාත්තට දැන් හිතෙනව.ඒකයි පුතාට
"දුනිත"
කියලම දාමු කියල තාත්ත කිව්වෙ.

ඊට පස්සෙ අම්ම බලන්ඩ තාත්ත පාන්දර තුන හමාරෙ කෝච්චියෙ හැමදාම කොළඹ ගිය හැටි.ඒ යනකොට හැමෝම මාරුවෙන් මාරුවට ගෙනියන්ඩ කෑම උයල දුන්නු හැටි.රේදි හෝදල දුන්නු හැටි.උදේම අම්ම බලල ආපහු ඇවිල්ල තාත්ත පුතාගෙ "වසන්ත මාම"ගෙ ඔ‍ෆිස් එකේ සීකුරුටි කූඩුවට වෙලා දවල් අම්මව බලන්ඩ යනවෙලාව වෙනකන් නිදාගත්ත හැටි.දවල්ටත් ,රෑටත් කැම කඩෙන් අරගෙන ගිය හැටි.හවස අම්ම බලන්ඩ කාසල් එකේ ගේට්‍ටුව ලඟ තෙරපි තෙරපි හිටය හැටි.හොදටෝම රෑවෙලා තාත්ත හැමදාම ‍රැ ගෙදර ආව හැටි.ඊටත් පස්සෙ දවසක් හවස තාත්ත යද්දි අම්මට අමාරුවෙලා පුතා හම්බවෙන්ඩ එක්කගෙන ගිහිල්ල තිබබ හැටි.පුතා හම්බවෙන්ඩ හරියටම තව මාස්යක් තිබ්බ නිසා තාත්තට තිබ්බ හිතේ කරදරේ.අම්ම බලන්ඩ තාත්ත යද්දි,

"අම්ම විතරයි පුතා කෝ?"

කියල තාත්තගෙ මුලු ඇඟම හීතල වෙලාගිය හැටි.පුතා බලන්ඩ "බේබි කෙයා" යුනිට් එකට තාත්ත එක පිම්මෙ දිව්ව හැටි.පුරා දින හතක් පුතා වීදුරු පෙට්ටියෙ ඉදල එලියට ආපුහැටි. මේ කාලෙ අතරතුර අම්ම විදපු වද වේදනා , සිතතැවුල් ලියනවනම් අම්මටත් ඇති පොත්ගනන් ලියන්ඩ.ලෝකෙ ඕනම අම්මෙකුට තාත්තෙකුට ඇති මේවගේ අද්දැකීම් කප්පරක් ලියන්ඩ.
අන්තිමට තුන්දෙනාම හොදින් ගෙදර ආපුහැටි.

පුතා ගෙදර ආවමනම් හිටියෙ මෙහෙම.




තාත්ත රට ඉන්න දවස්වල පුතාට උන හැදිල "රිජ්වේ" එකට එක්කගෙන ගියවෙලාවෙ එතන හිටිය දොස්තරල පුතා දිහා අමුතුවිදියට බලල ක‍ටුකු‍ටු ගාද්දි

"මොකද වෙලා තියෙන්නෙ කියල කියන්ඩ ...?"

කියල අම්ම කෑ මොර දුන්නෙ දොස්තරලගෙ ක‍ටුකු‍ටුව තවත් ඉවසගෙන ඉන්ඩ බැරිම නිසා වෙන්ඩ ඇති.

"ලමයගෙ genetic disorder එකක් කියල අපි සැකකරනව,කෝකටත් පරීක්ෂනයක් කරගන්ඩ,දැනට ආසිරි එකේ කරනව, ඇයි කාසල් එකේන් කිව්වෙ නැද්ද..?"

කියල අහද්දි මොන අම්මටද තමන්ගෙ දරුව එහෙමයි කියල එකපාරටම විශ්වාස කරන්ඩ පුලුවන්.

තාත්තනම් කිව්ව "මොන පරීක්ෂනද ..දොස්තරලට පිස්සු...උන් පිස්සු කියෝනව..පරීක්ෂන ඕන නෑ" කියල හිතෙ පොඩි අව්ලක් නොතිබ්බමත් නෙවෙයි.අනික ඕක දැනගත්ත කියල අපි මොනා කරන්ඩද?

ඔක්කෝමල අම්මට කියල තිබ්බෙ ඔය දේමයි.

අන්තිමට අම්මගෙ කෙදිරිය ඉවසන්ඩ බැරිම තැන, අම්ම ඉන්නෙ හිතේ ගොඩාක් කරදරෙන් කියල තාත්තට තේරුන නිසා තාත්ත කිව්ව එහෙනම් පරීක්ශනේ කරන්ඩ කියල.ප්‍රතිඵලය

"නෙගටිව්".

ඒකනෙ තාත්ත මුල ඉදලම කිව්වෙ.අම්ම කියන් දේ ඇහැව්වෙ නෑ.

ඊට පස්සෙනම් පුතාට මොකුත් විශේෂ දෙයක් උනේ නෑ ඔය පොඩිපොඩි බඩේ අමාරු ,උන ගැනීම් වගේ දේවල් ඇරුනහම.පුතා ඉපදුනේ අඩුමාසෙන් නිසා ඉපදෙනකොටම පුතා ගොඩාක් බර අඩු නිසා පුතාව සාමාන්‍ය තත්වෙට ගන්ඩ අම්ම ගොඩාක් මහන්සිඋනා.වැඩිකල් නොයාම අම්මට පුලුවන් උනා පුතාව ඒ තත්වෙට ගන්ඩත් පුතාගෙ සමවයසෙ ලමයින්ට වඩා හොද වර්දනයක් පෙන්නුම් කරන්ඩත්.පුතාගෙ දත්නම් ආවෙ ගොඩාක් පරක්කුවෙලා.අඩු මාසෙන් ඉපදුනාම දත් එනව පරක්කුයි කියල දොස්තරලත් කියල තිබුන.අනික් ලමයින්ට වඩා ඉක්මනට පුතා කතාකරන්ඩ ගත්ත.පුතා සින්දුත් කියනව කතන්දරත් පුතට පාඩම් දැන්.මේ ලඟදි පුතා එයගෙ දෙවනි උපන්දිනේ සැමරුව.මේ තියෙන්නෙ එදා ගත්ත පිංතූරයක්,


පුතා එයාගෙ වයසෙ ලමයි එක්ක ඉන්නකොට හොද උස මහතට පේනව කියල අම්ම කියනව.එයා පුතාගෙ අම්ම නිසා එහෙම පේනවද දන්නෙ නෑ කියලත් අම්මට හිතෙනවලු.පුතා හොදට රඟපාන්ඩ දන්නව කියල අම්ම කියනව.දවස තිස්සෙම එක එක විකාර වැඩ කර කර ඉන්නවලු.පුතාගෙ විකාර වැඩයි ,රඟපෑමයි ,සිංදුයි ,කතාන්දරයි සේරම තාත්තනම් බලන්නෙ "ස්කයිප් දෙයිය"ට පිං සිද්දවෙන්ඩ.මේ පුතාගෙ ලඟදි ගත්ත තවත් පිංතූරයක්.

පුතාගෙ මාමෙක් මේ ලඟදි ඩුබායි ආව.ඒ එනකොට මාම අතේ පුතා තාත්තට ලියුමකුත් එවල තිබ්බ.පුතා ලස්සනට ලියුම ලියල තිබ්බ.පුතා ලියල තියන භාෂාව අම්මටනම් තේරෙන්නෙ නැතිලු.අම්මට තේරෙන්නෙ නැතිනම් තාත්ත කොහොම තේරුම් ගන්ඩද..?

මොනවවුනත් පුතාගෙ හපන්කමක්නෙ.ඒකනිසා ඒකත් මෙතන නොදාම බෑ.ඔන්න බලන්ඩකො පුතා මොනාද ලියල ත්යෙන්නෙ කියලා...........


Monday, September 6, 2010

ගෙම්බෝ සහ මැස්සෝ





මේ දවස්වල මදුරුවන්ගෙන්ගෙනුයි මැස්සන්ගෙනුයි කරදරයි.මොකුත් නිසා නෙවෙයි.ඊයෙ උදේ තේ එක බාගෙට බීල පොඩ්ඩකට එහාට ගිහිල්ල එනකොට තේ එකට මදුරුවෙක් වැටිල ඳඟල ඳඟල ඉන්නව.මම තේ එකම විසිකලා.අද උදේ තේඒක බාගෙට බීල පොඩ්ඩක් එහට ගිහිල්ල එනකොට මැස්සෙක් වැටිල ඳඟල ඳඟල ඉන්නව.ඒකත් විසිකලා.ආයෙනම් තේ එක බාගෙට බොන්නෙ නෑ.සේරම බීල තමයි යන්නෙ යන තැනක.

ඔය සිද්දිය නිසා මට පොඩි කතා දෙකක් මතක් උනා.එකක් මගේ යාලුවෙකුට වෙසක් පුර පසලොස්වක දවසෙ සිදුවුන සජීවී අද්දැකීමක්.අනික මට යාලුවෙක් කියපු කතාවක්.

අපේ යාලුව වෙසක් පෝය දවසක , මට මතක හැටියට 2000 අවුරුද්දෙ ,අපි කට්ටිට වෙසක් බලල ඇවිල්ල පාන්දර ගෙවල්වලට ගියා.කට්ටිය විසිරිල ගියෙ පාන්දර තුනට විතර.අපේ යාලුවත් මම වගේම පලවෙනි පාර උසස්පෙල ඇනගෙන දෙවෙනිපාර විභාගෙට ලෑස්තිවෙන කාලෙ.ඉතින් පාඩම් කරන්ඩත් තියන නිසා අම්මට පොරොන්දුවෙලා රෑ 10 වෙනකොට ගෙදර එනව කියල.අනේ අම්මත් මූව විශ්වාස කරල,

"පව්නෙ පොඩි එකාට පාඩම් කරද්දි බඩගිනි ඒවි, මොලේ වෙහෙසෙද්දි ගුනදායක දේවල් කන්ඩ බොන්ඩ ඕනනෙ"

කියල මූට සුප් එකක් හදල මේසෙ උඩින් තියල පීරිසියකිනුත් වහල අම්ම නිදාගෙන.

අපේ මෑන් පාන්දර තුන හමාරට හතරට විතර ගෙදර ගිහින් හොරෙන්ම ගෙට රිංගල කාමරේට ගිහින් ටේබල් ලෑම්ප් එකත් දාගෙන එලිය වැටෙනකන්ම පාඩම්කරපු එකාවගේ දැන් ඉන්නවලු.පොතක් එහෙම දිගෑරල බල බල ඉන්නකොට මෑන් දැක්කලු සුප් එක.ඉතින් පොත දිහා බලාගෙනම සුප් උගුරක් බිව්වලු.ඉතුරුවෙන එලවලු කෑලි ටික හපද්දි මස් කෑල්ලකුත් හැපිල.මස් කෑල්ල දෙපාරක් හපද්දි මිනිහට දැනිල මස් කෑල්ල දඟලනව වගේ කියල.හැපිල්ල නවත්තල තප්පරයක් දෙකක් ඉන්නකොට ඇත්තටම දඟලනව වගේ නෙවෙයි දඟලනවම දැනිල.

එක පාරටම කටේ තිබ්බ සේරම දේවල්

"පෘෆ්..........." ගාල එලියට දාල.

මිනිහට උන් හිටි තැන් අමතකවෙලා තියෙන්නෙ එතකොට.පොඩි ගේඹි පැටියෙක් මේසෙ උඩ යනවලු බඩගාගෙන.ඌට පැන පැන යන්ඩ බැරිවෙන්ඩම අපේඑකා උගේ පශ්චාත් බාගේ හපාකාල.

මේක දැකපු මූ එකපාරටම දුවන්ඩ ගත්තලු කලුවරේම ගෙදර මේසපු‍ටු පෙරලගෙන බාත් රූම් එකට.ගත්තගමන් දත් බුරුසුව මූට මදින්නෙ දත් ද? දිව ද? උගුර ද? කියලවත් සිහියන් නැතුව මැදගෙන මැදගෙන ගියාලු.කොහොමින් කොහොමින් හරි අම්මගෙ හරස් ප්‍රශ්න වලින් නෝන්ඩිවෙලා මූ පාන්දර තමයි ගෙදර ආවෙ කියල.

වහල තිබ්බ සුප් කෝප්පෙට ගෙම්බ වැ‍ටුනෙ කොහොමද කියන එකනම් අදටත් අභිරහසක්.


දැන් අනික් කතාව

මේක මට කිව්වෙ මගෙ යාලුවෙක්.මිනිහ මොකක්ද ‍‍Film එකක් එක බලද්දි දැකපු සීන් එකක්.

ඔන්න පොරක් යනවලු තේ එකක් බොන්ඩ කඩේකට.ගිහින් කඩේ කොලුවගෙන් තේ එකක් ඉල්ලපුවම කොලුවත් තේ එක ගෙනත් තියල යනවලු.ඉතින් අර පොර තේ එක බොන්ඩ හදද්දි දකිනවලු තේ එකට මැස්සෙක් වැටිල මැරිල ඉන්නව.ඉතින් මෑන් කඩේ කොලුවට අඩගහල හොදටම දෙහිකපනවලු.කොහොමින් කොහොමින් හරි වැඩේ දුරදිග ගිහිල්ල කඩේ මුදලාලිත් සීන් එකට එන්ටර් වෙලා.

ඒත් ප්‍රශ්නෙ තවත් දුරදිග ගිහිල්ල.අන්තිමට තේ බොන්ඩ ගිය එකා කියනවලු,

"මම පොලීසියට කතාකරනව, මම නඩු දානව මැරිච්ච මැස්සෙක් මගෙ තේ එකේ හිටියට" කියල

එතකොට මුදලාලිට මල පැනල මෑන්ව කුස්සියට ඇදගෙන ගිහිල්ල උයන්ඩ ලෑස්ති කරල තියන සත්තු පෙන්නල කියනවලු ,

"මෙතන මාලුවෙක් මැරිල ඉන්නව, මෙතන කුකුලෙක් මැරිල ඉන්නව, අතන එලුවෙක් මැරිල ඉන්නව, උඹට ඒව පේන්නෙ නෑ ,අර පොඩි මැස්සෙක් මැරිල හිටිය කියල බොරුවට කෑගහනව" කියල.

Wednesday, August 25, 2010

වීස...






ඇත්තටම මේ අරාබි රටවල් වලට ආවම මෙහෙ තියන නීති රීති ගැන වෙලාවකට කල කිරෙනව.තියන වෘර්තීය සුදුසුකම්වලට හරියන්නෙ නැති, ඒ කියන්නෙ කරන රස්සාවට ගොඩාක්ම වෙනස් රස්සවකට දෙන වීස එකක් ගත්තාම විදින්ඩවෙන කරදර නිමක් නෑ.මටත් ඒගැන සුලු සුලු අද්දැකීම් තියනව.ඩුබායි එන්ඩ කලින් මම හිටිය කටාර් වල.මට තිබ්බෙ "විදුලි කාරිමික" වීසා බලපත්‍රයක්.ඒකෙන් පුලුවන් කොයිම වෙලාවක හරි පොලිසියෙන් ඇල්ලුවොත් හැදුනුම් පත පෙන්නල පොලිස් කූඩුවෙ ලගින්නෙ නැතුව බේරෙන්ඩ විතරයි මම දන්න විදියටනම්. අනික් කාරනය තමයි වීස අයදුම් කරන්ඩ වෛද්‍ය පරීක්ශනයට ගියාම මට සහ තව මාත් එක්ක පරීක්ශනයට ගිය කීපදෙනෙකුටම සැලකුවෙ හරියට මරන්ඩ ගෙනියන හරක් දක්කන විදියටමයි.අපි කරන ජොබ් එකම කරන පිලිපීන් ජාතිකයටනම් එහෙම කරදර උනේ නෑ.මිනිහ අපිත් එක්කම ගිහිල්ල වෙන දොරකින් ඇතුලුවෙලා ඉක්මනටම වැඩෙත් කරගෙන ඉක්මනටම ආපහු ගියා.අපි ඉතින් පැයගානක් පෝලිමේ ඉදල හවස්වෙලා ගෙදර ආව.පිලිපීන් එකාගෙ වීස ඒක ප්‍රොෆෙශනල් ලු.ඒ කාලෙ අපේ නොදැනුවත් කම නිසා ඔහොම කට්ට කාගෙන හිටිය.දැන් උනත් මට තියෙන්න වීස එකේ ගහල තියෙන්නෙ "ෆලෝ අප් ක්ලාක්" කියල.

මට මේගැන මතක් උනේ මේදවස්වල මගෙ යාලුවෙකුට වෙලා තියන වැඩක් නිසා.පලවෙනි වතාවට තමයි මිනිහ අරාබි පොලවෙ පයගහල තියෙන්නෙ.පව්ලේ උදවියට වීස ගහන්ඩ තරම් පුලුවන් මට්ටමේ පඩියක් ගන්නෙත් නෑ.ලඟදි මිනිහ නිවාඩු ගියා.කසාදයක් එහෙම කරගෙන ඇවිල්ල මිනිහා වයිෆ්ව ගන්ඩ වීසා ගන්ඩ ගියාමයි දන්නෙ වීස ගන්ඩ බෑ කියල.විස්තරේ කියපුවම ආයතනෙ ලොක්කට,ලොක්ක දුන්න විසඳුම තමයි දෙන්නට ඉන්ඩ කාමරේකුයි වයිෆ්ට වෙනම් වීස එකකුයි දෙන්නම් කියපු එක.ඉතින් මිනිහ කැමතිවෙලා ඔන්න කොහොමහරි වයිෆ්ව ගෙනාව.ඕක ගැන අපි ටිකක් දැනමුතුකම් තියන අපේ වැඩිහිටියෙකුගෙන් අහපුවාම එයා කිව්ව ඒක ටිකක් භයානක වැඩක් මේ අරාබි රටවල්වල, ඒක නිසා සැමියා සහ බිරිඳ කියල ඔප්පු කරන්ඩ පුලුවන් ලියකියව්ලි ටික ලඟ තියාගන්ඩ කියල.ඔන්න ඒපාර ගෙදරට කතාකරල විවාහ සහතිකේ පරිවර්තන කොපියක් එහෙම සහතික කරල ලඟ තියාගෙන ඉන්නව.දැන් තියන ප්‍රශ්නෙ දරුවෙක් එහෙම බඩට ආවනම් මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ.එතකොට මොකද කරන්නෙ කියලනම් තාම කාගෙන්වත් හරිහමන් උපදෙසක් ලැබුනෙ නෑ.අපිනම් උපදෙස් දුන්නෙ ටිකක් ඉවසල ඉදපන් කියල.එහෙම කියන්ඩ කාටවත් අයිතියක් තියනවද..?

ඔහොම ලියාගෙන ලියාගෙන යනකොට මට මතක්වුනා කාලෙකට ඉස්සර මගේ ඉන්දියන් යාලුවෙක් එවපු මේල් එකක තිබ්බ පොඩි කතාවක්.මෙහෙමයි ඒ කතාව.

ඔන්න ඉන්දියාවෙ කොහෙද තැනක තියන සත්තුවතක ඉන්නවලු කේසර සිංහයෙක්.ඉතින් මූට හය හතර තේරෙන කාලෙදිලු මේ සත්තුවත්තට ආවෙ.එදා ඉදල අඩි අටයි දහයෙ කූඩුවකට වෙලා මූ ජීවිත කාලෙම ගෙවල තරුන වයස ආවම මූට යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තලු.ඔන්න ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් ගැන එහෙම දැන් දැනුම් තේරුම් යන කාලෙදි මූට හිතෙනව

"පොඩිකාලෙ ඉදලම මට දැන් මේකෙ ඉදල එපාවෙලා, අඩුතරමෙ වෙන තැනකටවත් මාරුවෙන්ඩ තිබ්බනම්,
අනික හැමදාම එකම මස්ජාතියම කාල එපාවෙලා, පෙලවහක්වත් කරල දෙන පාටකුත් නෑ"

ඔහොම ලතැවි ලතැවි ඉන්නකොට දවසක් ඔන්න වාසනාව සිංහයව හොයාගෙන එනව. කොහොමද...?

දවසක් දා ඩුබායි රාජ්ජ්‍යයේ ශේක් වරයෙක් යනව මේ සත්තු වත්ත බලන්ඩ.ඔහොම යනකොට දකිනව මේ තරුන සිංහයව.ශේක්ට හිත යනව මේ සිංහයට.ඉතින් මෙයා සත්තුවත්ත අයිතිකාරය හම්බවෙලා කියනව

"ඔයාට අර සිංහය කීයක් වටිනවද ,මට කීය උනත් ඌව ඕන"කියල.

සත්තුවත්ත අයිතිකරයත් හොද ගානකට සිංහයව ශේක්ට දෙන්ඩ කැමතිවෙනව.
සිංහයගෙ සියලු බලාපොරොත්තු උතුරා දෝර ගලන්ඩ පටන්ගන්නව.ඉතින් සිංහයට මෙහෙම හිතෙනව.

"මගෙ නරක කාලෙ ඉවරයි,දැන් ඉතින් තුන්වේල හොඳට කාල , හොද සැප ඒ.සී කාමරේකට වෙලා ඉන්ඩ පුලුවන්
,පෙලවහක් උනත් කරල දෙන්ඩ බැරිකමක් නෑ"

ඉතින් සිංහය බොහෝම සන්තෝසෙන් පිටත් උනාලු ඩුබායි යන්ඩ.ඔන්න ඉතින් පැය තුන හතරක් ෆ්ලයිට් එකේ ගිහිල්ල සිංහය ඩුබායි වලට ආව.දැන් සිංහයට හොදටම මහන්සියි.බඩත්ගිනියි.

"කමක් නෑ අඩ රෑට හොදට කන්ඩ හම්බවෙයිනෙ"

කියල හිත හදාගෙන ඉන්නව.සිංහය අලුත් සත්තුවත්තෙ කූඩුව ගාවට අරගෙන ගියා.ලස්සනට පිලිවෙල්කට කූඩුව තියනව.ලයිට් හතක් අටක් දාල ලස්සනේ බැරුවා.දැන් හිතුව ඩෙවල් සෙරම තියනව.තව එක ප්‍රශ්නයයි තියෙන්නෙ.කෑම.පැය දෙකතුනකට පස්සෙ සිංහයට බඩගිනි උහුලන්ඩම බැරිවෙනකොට ඔන්න ඈතින් එනව පේනව කෑම බෙදන කොලුව.සිංහයට ඉවසිල්ලක් නෑ මොනවද කන්ඩ තියෙන්නෙ කියල බලන්ඩ.ඔන්න කෑම බෙදන කොලුව කූඩුවගාවට ඇවිල්ල කෙසෙල් ගෙඩි දෙකකුයි ඇපල් ගෙඩි දෙකකුයි කූඩුවට දාල යන්ඩ ගියා.සිංහයට හිතාගන්ඩ බැරිලු ඒ මොකද කියල.අන්තිමට හිතහදාගත්තලු මොකක්හරි වැරදීමක් වෙන්ඩ ඇති කියල.කමක් නෑ හෙට උදේ කෑම එක හරියට ලැබේවිනෙ කියල බඩගින්නෙම නිදාගත්ත.ඔන්න උදේම කෑම දාන කොලුව කූඩුවලට කෑම දාගෙන එනව.සිංහයත් බලන් ඉන්නව මොනවද දාන්නෙ කියල.උදෙත් කෙසෙල් ගෙඩි දෙකයි ඇපල් ගෙඩි දෙකයි දාල කොල්ල ගියා.සිංහයට දැන් හොදටම කේන්තියි.

"හරි බලමුකො දවල්ටත් මොනවද දේන්නෙ කියල, කෙසෙල් ගෙඩි දුන්නොත් අල්ලගන්නව ඕකගෙ බෙල්ලේන්"

කියල හිතගත්ත සිංහය දවල් වෙනකනුත් බඩගින්නෙ.දවල්ට කෑම දාන්ඩත් කොලුව එනව.සිංහයත් සීරුවෙන් ඉන්නව මොනවද දාන්නෙ කියල බලාගෙන.දැම්ම කෙසෙල්ගෙඩි දෙකයි ඇපල්ගෙඩි දෙකයි.ඕක බලන් හිටපු සිංහයගෙ ඉවසීමේ සීමාව පැන්න.පැනපුගමන් අල්ලගත්ත කෑම දාන කොල්ලගෙ බෙල්ලෙන්ම.කොලුව හොදටම බයවෙලා.බෙල්ලෙන් අල්ලගත්ත කොල්ලගෙන් සිංහය මෙහ්හෙම අහනව.

"ඈ බොල බූරුවො, ‍තෝ දන්නෙ නැද්ද මම සිංහයෙක් කියල, සිංහයො මස් මාලු නොකා පලතුරු කන්නෙ මොන රටේද බොල..?"

එතකොට කොලුව කියනව මෙහෙම.

"මමත් දන්නව ඔබවහන්සේ සිංහයෙක් කියල, ඔබවහන්සේට පලතුරු කන්ඩ බැරිබවත් මම දන්නව, එත් මම මොනව කරන්ඩද රාලහමි,මුන් ඔබතුමාට ගහල තියෙන්නෙ 'ව්ඳුරු වීස' එකක්නෙ ,මටත් තියෙන්නෙ 'බූරු වීස' එකක්"
කියල කිවාලු.


Monday, August 2, 2010

මස්, මාළු, කිරි, බිත්තර...














අද ලන්ච් බ්‍රෙක් එකේදි ඔන්න කට්ටියම සෙට්වෙලා කෑම බීම හෙම බෙදාගෙන කන්න පටන්ගත්ත. මගේගාව තිබුන මස් වගයක් උයල.සතා තමයි "හරක".

මගෙ යාලුවෙක් දවසක් කිව්ව මතකයි මෙහෙම කතාවක්,

"මෙහෙ මචන් හරක් හදන්නෙ මසට, ඒක නිසා කෑවට පව් නෑ බං,
ලංකාවෙනම් පුලුවන් තරම් වැඩ අර්ගෙන අන්තිමට මරනව, ඒකන්ම් පව් වැඩේ"


ඒ කතාව කොච්චර දුරට සාධාරනද කියල මම තර්ක කරන්ඩ ගියෙ නෑ, මොකද තර්ක කර කර හිටියනම් කන්ඩ වෙන්නෙ නෑනෙ.හබැයි මෙහෙ (U.A.E) හරක්නම් ඉපදෙන්ඩත් කලින්ම මස් රාත්තලට ගාන තීරනය කරල ඉවරයි. හරි කමක් නෑ ඒක එයාගෙ ප්‍රතිපත්තිය.මගේනම් එහේම ප්‍රතිපත්තියක් නෑ.මස්, මාළු, කිරි, බිත්තර, චීස්, බටර් ඕන දෙයක් කනව. වැඩිය හිතන්නෙ නෑ.අර කලින් කියපු යාලුවත් එහෙමයි.හැබැයි තව යාලුවෙක් ඉන්නව මස්, මාළු, කරවල, බිත්තර කන්නෙනෑ කිරි බොනව චීස්, බටර් කනව.

ඌ "වෙජිටේරියන්ලු".

එතකොට "කිරි, චීස්, බටර් හදන්නෙ එලවලු තම්බලද..?" කියල මම ඇහැව්ව.

ඌ කියනව ඒව හදන්ඩ සත්තු මරන්නෙ නැතිලු.එතකොට සතාගෙ පැටියට බොන්ඩ තියන කිරිටික උදුරල චීස් හදපුවම අව්ලක් නෑ මම හිතන්නෙ.හරි ඒකත් එයගෙ ප්‍රතිපත්තිය.
තව යාලුවෙක් ඉන්නව සේරම දේවල් කනව හැබැයි "හරක්මස්" කන්නෙ නෑ.
විහිලුත් කරනව ඉතින් සමහර වෙලාවකට, ඉතින් "හරක්" මස් කන්නෙ නෑ නේන්නම් කියල.
මිනිහගෙ තියෙන්නෙ වෙනම ප්‍රතිපත්තියක්.මිනිහ හරක් මස් කාලම නැතිලු ජීවිතේටම.
ඒකනිසා කන්ඩ අප්පිරියයිලු.ම්ම්ම්ම්......මර වැඩක්නෙ?....මිනිහ "ඌරුමස්"කනව.පොඩිකාලෙ ඉදලම ඌරුමස් කනවලු.ඒකටනම් මොනවත් වැ‍රැද්දක් කියන්ඩ බෑ.පුරුදු නැති මස් කන්ඩ මම උනත් දෙපාරක් හිතනවනෙ.අනික ඔය කොරියාව, පිලිපීනය, කාම්බෝජය, මැලේසියාව, චීනය, ජපානය වගේ රටවල සර්පයින්ව, බල්ලන්ව, පූසන්ව, ගොලුබෙල්ලන්වකනව කිව්වම මටත් අප්පිරියයි තමයි.ඒවගේ රටකට ගිහින් කිව්වොත් මම මේව මේව කන්නෙ නෑ කුකුලයි, හරකයි, ඌරයි විතරයි කන්නෙ කියල ඒ මිනිස්සුවුනත් හිතයි මොන පිස්සෙක්ද මේ ? කියල.මොකද එයාලට සර්පයින්ගෙයි, බල්ලන්ගෙයි, පූසන්ගෙයි, ගොලුබෙල්ලන්ගෙයි, හරකුන්ගෙයි,ඌරන්ගෙයි ලොකුවෙනසක් නොදකින නිසා.මොකද සේරම සත්තුනෙ.

මම මේ ලඟදි දැක්ක පත්තරේක තියනව කොහෙද මන්ද හෝටලේක දවල්ට කෑමට තිබ්බ කංකුං ඩෙවල් එකක නයි පැටව් දෙන්නෙක් ඉදල මාර ජරමරයක් වෙලා.කකා හිටපු මනුස්සයට වමනෙත් ගියාලු(එහෙම ලියල තිබ්බද කියලනම් මතක නෑ).ඒත් ඕක කොරියාව වගේ රටක උනානම් කකා හිටපු කෙනා බොරයක් අදින්නෙ නයි පැටවු දෙන්නෙක් මදි කියල මම හිතන්නෙ.


තවදෙයක් මතක්වුනා මේ කතාවත් සමගම කියන්ඩම ඕන .............


ඔන්න දවසක් යාලුවො කීපදෙනේක් එක්ක ගියා පොඩි අඩියක් එහෙම ගහල නාල කරල පොඩි ආතල් එකක් ගන්ඩ්.මේක සෙට් කලේ "මාළු බැමේ උන" බොහෝම තදේට වැලදිච්ච අපෙ මිත්‍රයෙක්.ඉතින් මමත් සෙට්වුනා වැඩේට, මාළු බාන්ඩනම් නෙවෙයි.මට ඕනවුනේ ගං ඉවුරකටවෙලා පොඩි අඩියක් ගහල වල්පල් ටිකක් කතාකරල ගඟේ නාල ෆන් එකක් ගන්න.
ඔතනට සෙට්වෙලා හිටිය අර මාළු මිත්‍රගෙ තව මාළු සගයෙක්.මිනිහ තමයි මාළු බෑමේ ප්‍රොෆෙෂනල් මෑන්.

ඔන්න මුලින් අපි ගෙනිච්ච ලට්ට පට්ට එක්ක කට්ටියම ඉවුරෙ වාඩිවෙලා පොඩි පොඩි අඩි තිය තිය බෝතලේ හිස් කරනව.ටිකකින් මාළු යාලුවො දෙන්න බැස්ස වැඩෙට.කොහෙන්ද හොයන් ආපු දැලකුත් උස්සං දෙන්න බැස්ස ගඟට. මෙන්න පැයකින් විතර එනව මාළු කිලෝ 4-5 ක් අරගෙන.

"යකෝ කාට කන්ඩද ඔච්චර මාළු" කියල අහපි යාලුවෙක්.

"අපිට තමයි" මාළු යාලුව කියනව.

"වැඩි නැද්ද" තව එකෙක් අහනව

"ආ ...මදිවෙයිද කියල අහපන් යකෝ" මාළු යාලුව කියනව.

ඔන්න කට්ටියම පොඩි සපෝට් එකක් එහෙම දීල දැන් "මාළු බාබකිව්" දානව.බෝතල් දෙක තුනක් ඉවරවෙනකොට කට්ටියට හොද ගනන්.මාළුත් පුලුවන්තරම් කාලත් මාළුවො 10-15ක් ඉතුරුයි.කට්ටියටම මාළු කාල එපාවෙලා.මාළු පුච්චන එක නැවැත්තුව.

"දැන් යමුද?"එකෙක් අහනව.

"හා යමු...අර මාළුටික ගනින් ඔතල"එකෙක් කියනව.

"ඔන්න ඕක විසිකරල යමං බං"වෙරිමතේ අපේ මාළු යාලුව කියනව.

"එපා එපා විසිකරන්ඩ"ආයෙම එකෙක් කියනව.

"විසිකරපං බං "මාළු යාලුව,

"එපා බං....උන්ට ගඟේ ඉන්ඩත් නෑ, තොපි කෑවෙත් නෑ, දැන් ඉතින් කාටහරි දෙන්ඩහරි අරං යමං"
වෙරි මතේන් හරි මගෙ යාලුව කිව්ව කතාවගැන මම පහුවෙනිදත් කල්පන කලා.අදටත් සමහරවෙලවට කවුරුහරි තන්හාවට වගේ මස් මාළු ගොඩවල් බෙදාගෙන කාල, කාගන්ඩ බැරිව විසිකරද්දි මට අර සිද්දිය මතක්වෙනව,

ඉතින් කතාව ඉවර කරන්ඩ කලින් තව පොඩි කතාවක් තියනව කියන්ඩ.ඒකෙනුත් කියන්නෙ මොකක්ද කියල ඔයලම තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ.මෙන්න මේකයි කතාව.

ඔන්න මෑන් කෙනෙක් ඉන්නවලු, පොරගෙ හෙන....."පොර පාට්ලු."
අර "බොරු ඩීසන්" ජාතියෙ පොරක්.කොහෙ ගියත් පොර හෙන පොර පාට් ලු.
ඉතින් මිනිහ දවසක් බඩගිනිවෙලා යනවලු දවල්ට කන්ඩ.හොද කඩයක් හොය හොය ඇව්දගෙන යද්දි මිනිහ දැක්කලු,

" ඔන්ලි චිකන්"

කියල ඉංග්‍රීසියෙන් ගහල තියනව.අමුතු සීන් එකක් නිසා පොරත් ඔලුව දාල බැලුවලු මොකද කියල.

බලපුවම මේකයි සීන් එක.කඩේ තියන හැම කෑමක්ම කුකුලගෙ මොකක්හරි පාට් එකකින්ලු හදල තියෙන්නෙ.ඉතින් මිනිහ හොද පොර පාට් එකක් දාල අඩගැහුවලු කඩේ කොලුවෙකුට.අඩගහල අහනවලු මෙහෙම.

"ලමය මේක මොනවයින්ද හදල තියෙන්නෙ....?"
"මේක ලිවර් වලින් සර්"
"එතකොට මේක.....?"
"විංස් වලිං සර්"
"මේක...?"
"බ්‍රෙස්ට් වලිං සර්"
බ්ලා...බ්ලා....බ්ලා......පොර ප්‍රශ්න අහනව....කොල්ල උත්තර දෙනව.
ඔහොම අහගෙන අහගෙන පිලිවෙලකට දැන් ගනන් අඩු පැත්තට එනවලු මෑන්.
ඇවිල්ල අන්තිම කෑම තියන තැනට ඇවිල්ල බලනකොට තියනවලු පොඩි පොඩි කලුපාට කෑලි වගයක්.මෑන් අහනවලු,

"මොනවද ලමය මේ....?
"ආ ඕක සර් කුකුලගෙ දිවෙන් හදන් කැමක්"
එතකොට පොර කියනවලු,
"ඈඈ......හ්......ඊයා.......මට ඒව කන්ඩ අප්පිරියයි, මට ඔම්ලට් එකක් දාල ගේන්ඩ" කියල කිව්වලු.

කඩේ ගොලයත් කට අතින් තදකරගෙන යන්ඩ ගියාලු.

කතාව ඉවරයි.....මොකද බලන් ඉන්නෙ....? කතාව ඉවරයි.
තෙරුනේ නැත්තම් මුල ඉදල කල්පනාවෙන් කියවන්ඩ.

Thursday, July 8, 2010

ටැක්සි....... ටැක්සි.......




ම්ම්ම්ම්..........
ලංකාදීප පත්තරේ බලාගෙන ඉන්නකොට දැක්ක සිද්දියක් නිසා මතකුනා පොඩි කතාවක්.
ලංකාදීපෙ දෙයියෝ සාක්කි එකේ තිබ්බා මෑන් කෙනෙක් පොඩි අඩියක් එහෙම ගහල බස් එකක යනවලු.මෑන් බස් එකේන් බැහැල තියෙන්නෙ බහින තැන පහුවෙලා ලු.ඉතින් මිනිහත් එක්ක එතනින්ම බහැපු තව මෑන් කෙනෙක් පොඩි කෝල් එකක් ගන්ඩ කියල ෆෝන් එක ඉල්ලගෙන.මැන් නොම්මරයක් එහෙම ඔබල ෆෝන් එකත් කනේ තියාගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල , එකපරටම හුරේ රන් එකක් තියන්ඩ ගත්තලු.ඉතින් ෆෝන් එක අයිතිකාරය පොඩි අඩියක් එහෙම දාල හිටපුනිසා අර මෑන්ස්ව අල්ලගන්ඩ බැරිවෙලා.......

ඔය කතාව දැක්කම මට මේ කතාව මතක්වුනා........

මේ සිද්දිය සිද්දවෙල තියෙන්නෙ මගෙ යාලුවෙකුගෙ යාලුවෙකුට.ඒකනිසා නම් , ගම් , දන්නේ නැත.කතාව ඉහත කතාවට සමාන, නමුත් ඊට වඩා පරිප්පුවක් කාපු සීන් එකක්.

මේක සිද්දවුනේ මැදපෙරදිග රටකදි, ඒ කියන්නෙ එක්සත් අරාබි එමීර් වල ,ඩුබායි වල.අපේ කතානායක තුමා මේ රටට ගොඩබහැල ටිකක් කල් වෙනවලු."ලු" කියන්නෙ මේක මගෙ යාලුවෙකුගෙ යාලුවෙකුට උන නිසා..රයිට්...ඉතින් මිනිහ පාරතොට දැන ගත්තට රටතොටේ මිනිස්සු ගැන එච්චර දැනගෙන ඉදල නෑ.ඉතින් දවසක් හවස්වේගන එද්දි මිනිහට මොකක්හරි අවශ්‍යතාවකට පොඩිගමනක් යන්ඩ වෙලා.මිනිහගෙ වෙලාවද කාමරේ අනික් උන්ගෙ වලාවද දන්නෙ නෑ කවුරුවත් කාමරේ ඉඳල නෑ තනියට එක්ක යන්ඩ.

"මොකට බයවෙනවද..?පාරතොට දන්නවනම්.සෙනගත් සූසූ..........ගාල ඉන්න තැනකටනෙ යන්නෙ"

කියල හිතන්ඩ ඇති මිනිහ.(ඔන්න බලන්ඩ මිනිස්සු හිතන විදිය වරදින හැටි).කොහොම හරි ගමන ගිහිල්ල කරගන්ඩ ගිය කටයුත්තත් කරගෙන ඔන්න දැන් ආපහුත් එන්ඩ පටන් ගත්තලු.

ඉතින් මිනිහ මෙතනට ඇවිල්ල තියෙන්නෙ ටැක්සියක.මිනිහට බර ගානක් වියදම් වෙලා.දැන් යන්ඩත් ඒවගේම වියදම් වෙනව නේද කියල හිත හිත ,ඉතින් මොනව කරන්ඩද කියල ටැක්සියක් නතර කරගන්ඩ පොඩි ට්‍රයි එකක් දීගෙන ඉන්නවලු පාර අයිනට වෙලා.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට සුදුපාට කාර් එකක් නැවැත්තුවලු මිනිහ ලඟ.නවත්තල අහනවලු

"කොහාටද යන්නෙ" කියල.

බලපුවම තඩි කලු අප්‍රිකන්කරයෙක්ලු.මෙහෙ නීත්‍යානුකූල ටැක්සි වලට අමතරව හොර ටැක්සිත් දුවනව කියල මෙහෙ ඉන්න අයනම් දන්නවනෙ..? ඉතින් ඒවගෙ ගනන් හිලව් එහෙමත් අනික් ටැක්සි වල ගනන් හිලව් වලින් බාගයක් විතර තමයි වෙන්නෙ.මිනිහත් හිතුවලු එහෙම එකක් වෙන්ඩ ඇති මෙක කියල.මොනා උනත් මෙහෙ හොර ටැක්සි දුවන එකයි ඒවගෙ යන ඒකයි දෙකම නීතියටනම් පටහැනියි.කොහොමින් කොහොමින් හරි මිනිහ යන්ඩඕන තැන කිව්වම ,

"ආ...හරි හරි නගින්ඩ" කිව්වලු.

මේව සෙරම මේ ඉංගිරිසියෙන් කතාවෙච්ච..රයිට්.මමයි මෙ ට්‍රාන්ස්ලේට් කලේ.ඉතින් මිනිහ නගින්ඩ කලින්ම කිව්වලු

"මගේ ගාන මෙච්චරයි" කියල.

කියල තියෙන්නෙ හරි ගානෙන් භාගයයි."හරි හරි..නගින්ඩ" කිව්වලු.

ආ...දැන් අපේ කතානයක තුමත් ඉස්සරහින්ම නැගල ඉඳගෙන එනවලු.ඔහොම ටිකක් දුර එනකොට කල්ලත් මුත් එක්ක හොදට කතාවට වැටිල.දන්නවනෙ දන්න කට්ටිය කල්ලො කොහොමත් කතාවට දක්ශයොනෙ.ඔහොම තව දුර එනකොට කල්ල හොදටම ‍ෆිට්වෙලා අපෙ බුවත් එක්ක.

දැන් ඔන්න ටිකක් වාහන තදබදයක් තියන හරියකට දෙන්න සෙට්වෙලා.යන්ඩම බැරිලු ඉස්සරහට.දැන් කල්ලට හරි හදිස්සියලු.අපේ බුවාට මේක එවලෙ තේරිල නෑ.පස්සෙ කතන්දරේ ටිකක් දුරදිග යද්දි තමයි හිතිල තියෙන්නෙ මූ කලබලෙන් නේද හිටියෙ කියල.ඉතින් මිනිහ ට්‍රැ‍ෆික් එකට බනිනවලු , වාහන කරයින්ට බනිනවලු , පස්සබලනවලු එක වැඩයිලු.අන්තිමට බැරිමතැන මිනිහ වාහනේ අයිනකට කරල නවත්තල කෝල් එකක් ගන්ඩ ට්‍රයි කරනවලු.දෙතුන් පාරක් ට්‍රයි කරල අපේ ලොක්ක දිහාට හැරිල කියනවලු

"යාලුව මට කෝල් එකක් ගන්ඩ ෆෝන් එක පොඩ්ඩක් දෙනවද" කියල.

ලොක්කාතේ තිබිල තියෙන්නෙ දිරාම්(ඩුබයි සල්ලි)2000ක් විතර වටින ෆෝන් එකක්.ඒ කියන්නෙ රුපියල්නම් 60,000 කට ටිකක් වැඩි ෆෝන් එකක්.ඒක මිනිහ යාලුවෙකුටවත් දෙන්නෙ නැතිලු වැඩිය අතපත ගාන්ඩ මොකද එකක් ගනන් වැඩියි අනික අරව මේව වැඩ කෑලි ගොඩයි , කවුරුහරි සෙටිංස් වෙනස්කලොත් එහෙම.. ඉතින් ඔන්න අපේ මෑන් ඇඹරෙද්දි කල්ල කියනවලු

"හරි හරි මම තව10ක් අඩුකරන්නම් කියල"

අම්මට සිරිවේයි කිව්වලු බොලේ නිකංවගේලු ඒතකොට ගමන.මිනිහ පැනපුගමන් ෆෝන් එක දීල තව ඔපරේට් කරන විදියත් කියල දුන්නලු.මෑනුත් ඉතින් නොම්මර වගයක් ඔබල එහෙම කනේ තියාගෙන කාර් එක වටේ ඇවිදිනවලු .අපේපොරත් ඉතින් ඇස් දෙක පොරගෙ ඇගේ ඇනගෙන බලාගෙන ඉන්නවලු සෙටිංස් අල කරයි කියල.ඔන්න බොලේ අපේ පොර පොඩ්ඩක් එහෙ මෙහෙ බලනකන් ඉඳල කල්ල වාශ්පවෙලා.

හරි කොහෙ ගියත් ලොක්ක ආපහු එන්ඩ ඒපැයි වාහනේ ගන්ඩ.අපෙ පොර පොඩ්ඩක් ඔලුව දාල බලපුවාම යතුරත් යතුරු කටේම තියනවලු.ආ කොහොමත් අව්ලක් නෑනේකියල පොර ඉන්නව්ලු වහනේ ඇතුලටම වෙලා.විනාඩි 10ක්-15ක් ගියාලු.කල්ල එන පාටක් නැතිලු.අව්ලක් නෑ වාහනේ මගේ ගාවනේ කියල ගානක් නැතිව ඉන්නව්ලු , මොනව උනත් ගාන තව 10කින් බැස්සුවනෙ කියල හිතල.ඔන්න එකපාරටම හොද උස මහත දෙන්නෙක් ඇවිල්ල කාර් එකේ දොර ගාවම හිටගෙන වටපිට එහෙම බලල එකපාරම දොර ඇරල අපේ ලොක්කව එලියට ඇදල අර්ගෙන බිමදමාගෙන අත්දෙක පස්සට කරල දැම්මලු "මාන්චු".වැඩේට තප්පර 5ක්වත් ගිහින් නෑ.පොරට හිතන්ඩවත් වෙලාවක් තිබ්බෙ නෑලු.අපේ ලොක්ක එකපාරටම කෑගහල ඇහුවලු

"මොකද මේ, කව්ද උඹල , මොනවද කරන්නෙ...?"කියල.

ඔන්න එතකොට මූව කුනුමාලු කෑල්ලවගේ ඇදල අරගෙන කෙලින් කරල වාහනේටම හේත්තු කරල හැදුනුම් පතක් පෙන්නල කිව්වලු

"අපි සී.අයි.ඩී..කෝ තමුසෙගෙ යාලුව....? කියල.

"මොන යාලුවද...?"

කියල අහපුගමන් සට පට ...මූනට හත අටක් ඇනල එතකොටම ආපු වාහනේට දාගෙන ගිහිල්ල.කෙලින්ම පොලිස් කූඩුවෙ.

"වරද මොකක්ද...?"

මු දෙතුන් පාරක්ම අහල තියනව.අහන අහන පාරට දෙක තුනක් කන්ඩවෙනවලු.අන්තිමට අහන එක නවත්තල තවත් ගුටිකන්ඩ බැරිනිසා.මූට දැන් කල්පනවෙනාවලු,

"යකෝ ටැක්සියක ගියපලියට මෙහෙම ගුටිකන්ඩ වෙනවනම්, ටැක්සිය එලවන් ගියානම් කොහොම කන්ඩ වෙයිද" කියල.

ඒත් කෝ ටැක්සිය එලවන් ආපු කල්ල.අපෙ ඔල මොට්ටලයට තාම තේරෙන්නෙ නැතිලු.
ඔන්න රෑ 12.00ට විතර ලොක්කෙක් වගේ පොරක් ඇවිල්ල ගත්තලු මූව එලියට.තවත් කෑමක් තමයි කියල හිතල මුත්

"මොනව කරන්ඩද"

කියල හිතාගෙන එලියට ආවලු.ඔන්න ඒපාර අර අලුගෝසුවො ටික ඈතින් ඉන්නවලු.මෙන්න වැදගත් පිලිවෙලට මේසයක් ලඟ පු‍ටුවක එහෙම ඉන්දවල ප්‍රශ්න අහනවලු.

"කෝ යාලුව..?"
"මොන යාලුවද..?"
"කල්ල..?"
"එයා මගේ යාලුවෙක් නෙවෙයි"
"ඇත්ත කිව්වොත් උඹට තවත් රිද්දන්නෙ නැ, නැත්තම් දන්නවනෙ...?"
"මම ඇත්ත කියන්නෙ ,මගේ යාලුවෙක් නෙවෙයි"
"ඇත්ත් කියපන්........... , ............ , හු................පුතා , තොපි කොහෙන්ද කාර් එක හොරකම් කලේ...? "

කියල මේසෙට ගහල ගෝරනාඩුකලාලු අපේ එකා පු‍ටුවෙන් බිමලු.කොහොමද භය වීම.ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මෙ අහපු ප්‍රශ්නෙටලු.

"කාර් එකක්......? හොරකම්.......?"

ඔන්න මැන්ගෙ ස්ක්‍රීන් ප්ලේ එක යනවලු දැන්.කාරනෙන් කාරනේ පැහැදිලිවේගන එනවලු දැන්.
කොහොමින් කොහොමින් හරි තව පොඩි කනේපාරවල් දෙක තුනක් ගහද්දි අපේ කොල්ල මරල‍තෝනි දීල අඩල කරල තියනව.ඔන්න ඔහොම ඔහොම කොහොම හරි සී.අයි.ඩී ලොක්කට තේරිලා තියනව මෑන් අහින්සකයි,මෙතන මොකක්ද පටලැවිල්ලක් තියනව කියල.ඉතින් අපේ එකා කියපු කතාව සී.අයි.ඩී ලොක්ක පිලි අරගෙන.ඒත් ඉතින් මු කියන කතා අයිඩෙන්ටි එක බලල විතරක් තීරනය කරන්ඩ බැරිනිසා මිනිහගෙන් අහල යාලුවෙකුගෙ දුරකතන අංකයක්.

හුටා අර 60000ක් විතර වටින ෆෝන් එක කල්ලා අරන් මාරුවුනනේ.යාලුවන්ගෙ කාගෙවත් අංකයක් මතක තියගෙන ඉදල නෑ මැන්.එතන මාර ජරමරේ ඒපාර.කොහොමහරි එලිවෙනකන් යාලුව කූරු ගැනල.අන්තිමේදි පොලීසියෙන් මිනිහගෙ ප(ර්)ස් එකේ තිබිල පොඩි තුන්ඩු කෑල්ලක ලියල තිබ්බ නොම්මරේකට කතාකරල.ඔන්න ඔහොම ලංකාවෙ අහවල් නම තියන කොල්ලෙක් පොලීසියෙ කියන ආරංචිය මෙයාගෙ යාලුවන්ට හම්බවෙනකොට පහුවෙනිද හවස්වෙලා.මෙහෙ ඉතින් යාලුවෙක් දවසකට අතුරුදහන් උනා කියල කවුරුවත් මහා ලොකුවට හොයාන්නෙ නෑ.මොකද සමහරු තමන්ගෙ පුද්ගලික අවශ්යතවයන් සඳහා තාවකලිකව අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක්(ෆෝන් එහෙමත් ඕෆ් කරල) ඒක දන්නෝ දනිති.

ඉතින් ඔය කතාව අහද්දි මම උනත් ඔයගැන ලොකුවට හිතල තිබ්බෙ නෑ.මමත් ඔය ඉදල හිටල හොර ටැක්සිවල ගිහිල්ල තියනව.හැබැයි කතාව අහැවුවට පස්සෙනම් මම හිතාගත්ත කරුනු කීපයක්

1.පයින් ගියත් හොර ටැක්සිවල නොයමි.
2.යාලුවො දෙන්නෙකුගෙවත් ෆෝන් නම්බ(ර්)ස් කටපාඩම්කර ගනිමි.
3.ෆෝන් එකනම් කාටව්ත් අරන් පල කියල දුන්නත් ගෙනියන්නෙ නැත්වෙයි.

Tuesday, July 6, 2010



සමාවෙන්න.....සුභ උපන්දිනයක්......!

ඔන්න මගේ දෙවනි පොස්ට් එක......හැබැයි හරිම කනගා‍ටු දායක සිද්දියක් ගැන තමයි කියන්ඩ තියෙන්නෙ.
සිද්දිය මෙහෙමයි..,
මම අහනව කෙනෙක්ගෙන් මෙහෙම,
ඔබගෙ පෙම්වතියගෙ හරි පෙම්වතාගෙ හරි නැත්තම් ඔබගේ බිරිඳගෙ හෝ ස්වාමියාගෙ හරි උපන්දිනේදි,
ඔබට ඔහුට හෝ ඇයට සුභපතන්ඩ අමතක උනොත් හරි බැරිඋනොත් හරි මොකද කරන්නෙ...?
මොනවගේ තත්වයකට ඔබට මුහුන පාන්ඩවෙයිද..? මොනවගේ දඬුවමක් විඳින්ඩ සිද්දවෙයිද...?
ඒ වගේම ඔබ ගැන ඔබගේම කරන තක්සේරුව මොකක්ද..?
ඒවගේ දෙයක් වරදින්ඩ පුලුවන්ද..?
හරි කොහොමහරි එහෙම අතපසු වීමක් උනයි කියමු..

ඔබ ඒ පිලිබඳ සැලකිලිමත් උනේ නැද්ද..?
මතක තිබ්බත් අන්තිම මොහොතෙ අමතක උනේ ඇයි..?
ඔබ ආදරය කරන කෙනාගෙ උපන්දිනය ඔබට වැදගත්කමක් නැද්ද..?
නැත්තම් ඔබ ඒ කෙනාට ආදරය නැද්ද..?

පිරිමියෙකුනම් ඇතිවෙන හැගීම තමයි මුලින්ම තරහ
ඊට පස්සෙ කලකිරෙනව...එපාවෙනව...
හැහැනියක්නම්...?
මේ සේරම දේවල් වලට කලින් හොදටම දුක හිතෙනව...හොදටම අඬනව..
ඊට පස්සෙ තමයි අනික්ව.

හොඳයි.., ඔබ මොකක්ද දෙන දඬුවම..? නැත්තම් මොකක්ද ඔබ බලාපොරොත්තුවෙන දඬුවම..?
හවසට ‍ෆිල්ම් එකක් බලන්ඩ එක්කයන ඒක..?
රෑ කෑමකට එක්කයන එක..?
මොනවකලත් වැඩක් නෑ වරද වෙලා ඉවරයි නේද.?

හරි.., දෙන්නා ඉන්නෙ එදිනෙදා මුන ගැහෙන්ඩ බැරි තරම් දුරකනම්..?

තමන් වෙනුවෙන් දහස් ගනන් කැපකිරීම් කරල..
තමන්ගෙ දරු මල්ලොත් බලාගෙන
ගෙවල් දොරවලුත් බලාගෙන
තමන්ගෙ දෙමවුපියන්ට සහෝදර සහොදරියන්ට තමන්ගෙන් කෙරෙන්ඩ ඕන යුතුකම් සේරම බලාගෙන
ඉන්න කෙනෙක්ට සුභ පතන්ඩ ඔබට බැරිඋනනම්...

දෙන්ඩ ඕන උපරිම දඬුවමද "කමක් නෑ......දුකහිතිල පොඩ්ඩක් ඇඬුව තමයි, ඔයා කොහොමත් මට ආදරෙයිනෙ....,මම ඒක දන්නවනෙ..., ඒකනිසා මම ඒක අමතක කරල දැම්ම" කියන එක..?

සමාවෙන්න............සුභ උපන්දිනයක්...!